Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුව 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ පළමු කාර්තුව සඳහා බදු පසු ලාභය වශයෙන් රුපියල් මිලියන 105ක් වාර්තා කරයි.
Fri, 26 Jun 2026

මූල්‍ය විශේෂාංග:

  • කාර්තුව සඳහා බදු පසු ලාභය රුපියල් මිලියන 105 කි.
  • මුළු ප්‍රාග්ධන අනුපාතය 19.01% කි.
  • ශුද්ධ ණය ප්‍රමාණය (Net loan book) 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 6% කින් (රු. බිලියන 3.8 කින්) වර්ධනය වී රු. බිලියන 67 ක් දක්වා ළඟා වී ඇත. (වාර්ෂික වර්ධන අනුපාතය 37%).
  • අදියර 3 ණය (අදියර 3 ණය හානිකරණ වෙන් කිරීම් වලට පසු) / මුළු ණය අනුපාතය 6.44%කි.
  • මුළු වත්කම් 2025 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 6% කින් වර්ධනය වී රු. බිලියන 97.5 ක් දක්වා ළඟා වී ඇත. (වාර්ෂික වර්ධන අනුපාතය 19%).
  • හිමිකම් නිකුතුවන් හරහා රුපියල් බිලියන 2.5 ක කොටස් ප්‍රාග්ධනයක් සාර්ථකව රැස් කරගෙන ඇත.

2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා කාගිල්ස් බැංකුවේ මූල්‍ය ප්‍රතිඵලවලට අනුව රුපියල් මිලියන 185 ක බදු පෙර ලාභයක් වාර්තා වී ඇත. මෙය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 42% ක පහත වැටීමකි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මුළු අනෙකුත් ආදායම රුපියල් මිලියන 381 කින් සැලකිය යුතු ලෙස අඩු වීමයි. මුළු අනෙකුත් ආදායමේ සිදු වූ මෙම අඩුවීම, ශුද්ධ පොලී ආදායමේ වැඩිවීම මගින් යම් ප්‍රමාණයකට පියවා ගැනීමට හැකි විය.

ශුද්ධ පොලී ආදායම රුපියල් මිලියන 1,041 දක්වා ඉහළ ගිය අතර, එය 2025 පළමු කාර්තුවට වඩා 20% ක වැඩිවීමකි. මෙම වර්ධනයට මූලික වශයෙන් හේතු වූයේ ණය වර්ධනය සහ වෙළඳපල තත්ත්වයන්ට අනුකූලව තැන්පතු හා ණය ප්‍රතිමිලකරණය (repricing) කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කිරීමයි. එමගින් ශුද්ධ පොලී ආන්තිකය (NIM) ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ඇති අතර, එය 2025 පළමු කාර්තුවේ පැවති 4.38% සිට සමාලෝචිත කාර්තුවේදී 4.46% දක්වා වර්ධනය වීමෙන් පිළිබිඹු වේ.

ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 2025 අදාළ කාර්තුවට සාපේක්ෂව රුපියල් මිලියන 7 ක සුළු අඩුවීමක් වාර්තා කර ඇත. මෙම 3% ක අඩුවීමට බලපෑවේ 2025 පළමු කාර්තුවේ ණය හා අත්තිකාරම්වලට අදාළව ඇතුළත් වූ එක් වරක් පමණක් ලැබුණු ආදායම් (one-off items) සහ මෙම කාර්තුවේ වෙළඳාම ආශ්‍රිත ගාස්තු ආදායමේ සිදු වූ සුළු අඩුවීමයි.

එලෙසම, අදාළ කාල සීමාව සඳහා වූ මුළු අනෙකුත් ආදායම 96% කින් රුපියල් මිලියන 15 දක්වා අඩු විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2025 පළමු කාර්තුව තුළ මූල්‍ය වත්කම් බැහැර කිරීමෙන් (derecognition) ලැබූ ඉහළ ප්‍රාග්ධන ලාභ සහ සාධාරණ අගය මත පදනම් වූ මූල්‍ය වත්කම්වලින් ලැබූ ශුද්ධ ලාභයන්ය.

මුළු මෙහෙයුම් වියදම් 7% කින් රුපියල් මිලියන 979 දක්වා ඉහළ ගොස් ඇත. වැටුප් වර්ධක සහ වෙළඳපල තත්ත්වයන්ට අනුකූලව දක්ෂ සේවකයින් රඳවා ගැනීම සඳහා සිදු කළ ගැලපීම් හේතුවෙන් සේවක වියදම් 15% කින් ඉහළ ගොස් ඇත. තොරතුරු තාක්ෂණ සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සිදු කළ ආයෝජන හේතුවෙන් ක්ෂයවීම් සහ අගය අඩුකිරීම් (Depreciation and amortization) 36% කින් වර්ධනය වී ඇත. බැංකුවේ පිරිවැය-ආදායම් අනුපාතය (Cost-to-Income Ratio) 75% ක් ලෙස වාර්තා වූ අතර, එය 2025 අදාළ කාර්තුවේ පැවති 71% ට සාපේක්ෂව වැඩිවීමකි.

බැංකුව සිය “අනෙකුත් විස්තීර්ණ අලාභය” (Other Comprehensive Loss) රුපියල් මිලියන 60.4 දක්වා සැලකිය යුතු ලෙස අඩු කරගෙන ඇති අතර, එය 2025 පළමු කාර්තුවේ පැවති රුපියල් මිලියන 307.3 ක අලාභයට සාපේක්ෂව 80% ක වර්ධනයකි. මීට අමතරව, මුළු විස්තීර්ණ ආදායම රුපියල් මිලියන 44.4 ක් ලෙස ධනාත්මක අගයක් ගත් අතර, එය 2025 අදාළ කාල සීමාවට සාපේක්ෂව 131% ක වර්ධනය වීමකි.

මෙහෙයුම් අංශ අතරින් බැංකු අංශය ප්‍රධාන කාර්ය සාධනයක් පෙන්නුම් කළ අතර, එහි බදු පෙර මෙහෙයුම් ලාභය 2025 පළමු කාර්තුවේ පැවති රුපියල් මිලියන 129 සිට රුපියල් මිලියන 282 දක්වා ඉහළ ගොස් ඇත. මෙම වර්ධනයට මෙහෙයුම් අංශයේ ශුද්ධ පොලී ආදායම 36% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 944 ක් දක්වා ළඟා වීම පිටුවහලක් විය. භාණ්ඩාගාර සහ ආයෝජන අංශය බදු පෙර මෙහෙයුම් ලාභය සඳහා රුපියල් මිලියන 18 ක දායකත්වයක් ලබා දුන් අතර, එය පෙර කාලසීමාවේ වාර්තා වූ රුපියල් මිලියන 362 ක ඉහළ අගයට සාපේක්ෂව අඩුවීමකි.

විධිමත් විමර්ශන සහ අයකර ගැනීමේ ක්‍රියාවලීන් හරහා බැංකුව සිය වත්කම්වල ගුණාත්මකභාවයෙහි සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කළේය. කාර්තුව සඳහා වූ මුළු ණය හානිකරණ පිරිවැය (Total impairment charge) රුපියල් මිලියන 24 ක් වූ අතර, එය 2025 පළමු කාර්තුවේ පැවති රුපියල් මිලියන 126 ට සාපේක්ෂව රුපියල් මිලියන 102 ක අඩුවීමකි.

අදියර 3 ණය (අදියර 3 ණය හානිකරණ වෙන් කිරීම් වලට පසු) / මුළු ණය අනුපාතය 2025 දෙසැම්බර් මස පැවති 6.52% සිට 2026 මාර්තු 31 වන විට 6.44% දක්වා වර්ධනය වී ඇත. අදියර 3 ණය හානිකරණය/ අදියර 3 ණය අනුපාතය (Stage 3 Provision Cover) 44.64% මට්ටමක පවත්වාගෙන යන ලදී.

කාගිල්ස් බැංකුව සිය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය සහ ද්‍රවශීල වත්කම් අනුපාතයන් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යයි. මුළු ප්‍රාග්ධන අනුපාතය 2025 අවසානයේ පැවති 17.12% සිට 19.01% දක්වා වර්ධනය කර ඇති අතර, එය අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයයි. ද්‍රවශීල වත්කම් ආවරණ අනුපාතය (රුපියල්) (LCR) 212.26% ක් ලෙසත්, සියළුම මුදල් ඒකක සඳහා අගය (LCR) 192.19% ක් ලෙසත් වාර්තා විය. ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) 128.51% වේ.

2026 මාර්තු 31 දිනට බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 97.5 ක් වූ අතර, එය 2025 දෙසැම්බර් සිට රුපියල් බිලියන 5.8 ක හෙවත් 6% ක වර්ධනයකි. (2025 මාර්තු වලට සාපේක්ෂව වාර්ෂික වර්ධනය 19%)

ශුද්ධ ණය සංචිතය රුපියල් බිලියන 63.1 සිට රුපියල් බිලියන 67 දක්වා රුපියල් බිලියන 3.8 ක හෙවත් 6% ක ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත. (2025 මාර්තු වලට සාපේක්ෂව වාර්ෂික වර්ධනය 37%)

පාරිභෝගික තැන්පතු 5% කින් වර්ධනය වී රුපියල් බිලියන 69.4 දක්වා ළඟා වී ඇති අතර, එය පාරිභෝගික විශ්වාසය තහවුරු වීම, සාර්ථක තැන්පතු බලමුලු ගැන්වීමේ උපාය මාර්ග සහ නව පාරිභෝගිකයින් එක්කර ගැනීම පිළිබිඹු කරයි. (2025 මාර්තු වලට සාපේක්ෂව වාර්ෂික වර්ධනය 22%)

සමාලෝචිත කාර්තුව තුළ බැංකුව නියාමන අවශ්‍යතා සපුරාලීම, ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම සහ ණය වර්ධනයට සහාය වීම යන අරමුණු ඇතිව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් නිකුතුවක් මගින් රුපියල් බිලියන 2.5 ක ප්‍රාග්ධනයක් සාර්ථකව රැස් කර ගත්තේය. මෙම ක්‍රියාවලියේදී ආයෝජකයින් තැබූ විශ්වාසය බැංකුව බෙහෙවින් අගය කර සිටියි.

 

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form