Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුව 2024 පළමු අර්ධයේදී රුපියල් මිලියන 306ක බදු පෙර ලාභයක් වාර්තා කරයි
Mon, 14 Oct 2024

පළමු අර්ධයේ විශේෂ මූල්‍ය අවස්ථා

■             පළමු අර්ධයේ ආදායම් බදු ගෙවීමෙන් පසු මිලියන 137ක ලාභයක්

■             රුපියල් මිලියන 83 ක ලාභය හෝ අලාභය තුලින් සාධාරණ අගයේදී මූල්‍ය වත්කම්වලින් ලද ශුද්ධ ලාභයෙහි වර්ධනයක්

■             වෙනත් විස්තීරණ ආදායම් හරහා සාධාරණ වටිනාකමින් යුත් වත්කම් ඉවත් කිරීම් තුලින් ලද ශුද්ධ ලාභයෙහි රුපියල් මිලියන 249ක වර්ධනයක්

■             මනා ප්‍රාග්ධනීකරණයක් හා ද්‍රවශීලතාවක් පවත්වා ගැනීම

ද              21.71%ක මුළු ප්‍රාග්ධන අනුපාතයක්

ද              සියලුම මුදල් ඒකකයන්හි ද්‍රවශීලතා ආවරණ අනුපාතය 352.94%ක්

ද              125.75% ක ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතයක්

■             මුළු වත්කම් වර්ධනය රුපියල් බිලියන 3.1 යි

 

2024 ජූනි මස 30 වැනි දිනෙන් අවසන් වූ මාස 6ක කාලය සඳහා කාගිල්ස් බැංකුව විසින් වාර්තා කළ මූල්‍ය ප්‍රතිපල අනුව පෙර වසරේ එම කාර්තුව හා සැසඳීමේදී ලාභදායීත්වයේ පහළ වැටීමක් ප්‍රදර්ශනය කරන ලදී. එහිදී වාර්තා කරනු ලැබූ බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 137ක ලාභය 2023 වසරේ අදාල කාල පරිච්ඡේදයේදට සාපේක්ෂව රුපියල් මිලියන 116ක පහල යාමක් ලෙස වාර්තා විය. එසේම 2023 වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේදී මාස 6ක කාලය සඳහා රුපියල් මිලියන 49ක ආන්තික අඩුවීමක් සමඟ රුපියල් බිලියන 1.65ක ශුද්ධ පොලී ආදායමක් 2024 පළමු අර්ධයේදී වාර්තා කිරීමට කාගිල්ස් බැංකුව සමත් විය. පොලී අනුපාතයන්හි ක්‍රමානුකූල පහල යාම හා වෙළෙඳපොල අස්ථාවරත්වය මෙම ශුද්ධ පොලී ආන්තිකයේ පහළ යාමට හේතු විය. එසේම වෙළෙඳපොල තුළ පවතින තත්වය පිළිබිඹු වන ලෙස තැන්පතු හා අත්තිකාරම් ප්‍රතිමිලකරණය හා ශුද්ධ පොලී ආන්තිකය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි බැංකුව අවධානය යොමු කරන ලදී.

2024 පළමු අර්ධයේදී වාර්තා කළ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම රුපියල් මිලියන 384ක් වූ අතර එය පෙර වසරේ අදාල කාල පරිච්ඡේදයේදී රුපියල් මිලියන 408ක් විය. මෙය 6%කින් පහළ යාමක් වූ අතර ඊට විශාල ලෙස වෙළෙඳ මෙහෙයුම්වලට අදාල සංශෝධන නිසා ගාස්තු පහළ යාම සහ කාඩ්පත් ආශ්‍රිත සේවාවන්හි ශුද්ධ ආදායම අඩුවීම හේතු විය.

මීට අමතරව 2024 පළමු අර්ධයේදී ලාභය හෝ අලාභය තුලින් සාධාරණ අගයේදී මූල්‍ය වත්කම්හි ශුද්ධ ලාභය රුපියල් මිලියන 83කින් ඉහළ යමින් රුපියල් මිලියන 180ක් දක්වා ළඟා කර ගැනීමට බැංකුවට හැකියාව උදා විය. මූල්‍ය වත්කම් ඉවත් කිරීම් තුලින් අත්පත් කරගත් ප්‍රාග්ධන ලාභය, අනෙකුත් ආදායම් ප්‍රවාහයන් රුපියල් මිලියන 249කින් වර්ධනය කිරීමට ඉවහල් වූ අතර ඒ හේතුවෙන් සමාලෝචිත කාල පරිච්ඡේදයේදී රුපියල් මිලියන 278ක් දක්වා ළඟා කර ගැනීමට හැකි විය.

සමස්ත මෙහෙයුම් වියදම් පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.35 හා සැසැඳීමේදී 18%කින් ඉහළ යමින් 2024 පළමු අර්ධයේදී රුපියල් බිලියන 1.59ක් බවට පත් විය. එසේම වැඩිවන ජීවන වියදම් හා වෙළෙඳපොල තත්වයන් සැලකිල්ලට ගනිමින් බැංකුව විසින් ලබා දුන් වැටුප් හා සුභසාධන ප්‍රතිලාභ හේතුවෙන් පුද්ගල වියදම් ද 23%කින් ඉහළ යන ලදී. එසේම ප්‍රධාන වශයෙන් ඉහළ යන උපයෝගීතා පිරිවැය හා තොරතුරු තාක්ෂණ වත්කම් අලුත්වැඩියා කිරීමේ හා නඩත්තු වියදම් හේතුවෙන් අනෙකුත් මෙහෙයුම් වියදම්ද 17%කින් වර්ධනය විය.

මීට අමතරව බැංකුවේ හානිකරණ වියදම් රුපියල් 440ක් වූ අතර එය 2023 වසරේ මුල් මාස 6 දී වාර්තා කළ රුපියල් මිලියන 446 හා සැසඳීමේදී 1%ක අඩුවීමක් ලෙස සටහන් වීම තුලින් බැංකුවේ අවධානම් හා වගකීම් කළමනාකරණය කිරීමේ ක්‍රියාකාරීත්වය මනාව ප්‍රදර්ශනය කරයි. බැංකුව විසින් ණය ගැනුම්කරුවන්ගේ තත්වය විමර්ශනය කිරීමෙන් පසු අවශ්‍යතාවය මත අමතර හානිකරණ ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී. 2024 ජූනි මස 30 වන දින වන විට බැංකුවේ අදියර 3 ණය (අදියර 3 හානිකරණ ගැලපීමෙන් පසු) මුළු ණය අනුපාතයට සාපේක්ෂව 9.92%ක් වූ අතර අදියර 3 ප්‍රතිපාදන ආවරණය 46.15%ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති අවම අවශ්‍යතාවන් යටතේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක සහ ද්‍රවශීල වත්කම් අනුපාත මනා ලෙස පවත්වාගෙන යාමට බැංකුව සමත්ව ඇති කාගිල්ස් බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය 21.71%ක් වූ අතර  ද්‍රවශීලතාව සම්බන්ධ සියලු අනුපාතයන් අවම නියාමන මට්ටමට වඩා බෙහෙවින් ඉහළ අගයක පැවතුණි.

2024 ජූනි 30 වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 72.8ක් විය. එය පසුගිය වසරේ මුල් මාස 6 දී හා සැසඳීමේදී රුපියල් බිලියන 3.1 හෙවත් 4%ක ඉහළ යාමකි. බැංකුවේ ණය මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර පවතින කොන්දේසි යටතේ එය රුපියල් බිලියන 40.6 සිට රුපියල් බිලියන 41.1 දක්වා වර්ධනය වී ඇත. අනෙකුත් විස්තීරණ ආදායම තුළින් සාධාරණ අගය යටතේ මනිනු ලබන මූල්‍ය වත්කම් 5%කින් වර්ධනය වී ඇති අතර ඒ තුළින් රුපියල් බිලියන 18.7ක් දක්වා ළඟා වීමට බැංකුවට හැකියාව උදා විය. අනෙකුත් විස්තීරණ ආදායම් රුපියල් මිලියන 14ක ඍණ අගයක් සනිටුහන් කරන ලදී.

වාර්තා කළ දිනට බැංකුවේ පාරිභෝගික තැන්පතු රුපියල් බිලියන 52.2ක් වූ අතර එය වෙළෙඳපොල පොලී අනුපාත අඛණ්ඩව අඩු කිරීම තුල 2023 වසර අවසානයේදී සටහන් වූ රුපියල් බිලියන 50.7ට සාපේක්ෂව 3%ක වර්ධනයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ආයතනික පාලනය පිළිබඳ බැංකු පනතට අනුකූලව කාගිල්ස් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රිචඩ් ඊබෙල් මහතා 2024 ජූලි 02 වන දින විශ්‍රාම යන ලදී. 2015 වසරේදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ ඒ මහතා එහි වසර 9ක කාලයක් කටයුතු කළ අතර විශ්‍රාම යාමෙන් අනතුරුව එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ අශෝක පීරිස් මහතා 2024 ජූලි 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කාගිල්ස් බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.

 

කාගිල්ස් බැංකුව පිළිබඳව

ඩිජිටල් සක්‍රීයකරණය මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත්ම පු`ඵල් සේවා බැංකුව බවට පත්වීමේ දැක්ම ඉදිරියට ගෙන යන කාගිල්ස් බැංකුව Fitch Ratings Lanka හි A(lka) ශ්‍රේණිගත කිරීම හිමි කරගෙන සිටියි. කාගිල්ස් සමූහයට අයත් පරිපූර්ණ බැංකු හා මූල්‍ය සේවා සපයන මූල්‍ය සේවා අංශය වන්නේද කාගිල්ස් බැංකුවයි.  තාක්ෂණය පදනම් කරගත් දීප ව්‍යාප්ත ගෙවීම් විසඳුම් තුළින් මුදල් භාවිතයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම කාගිල්ස් බැංකුවෙහි අරමුණ වී ඇත.

ශාඛා, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ඩිජිටල් සේවාවන්ට අමතරව කාගිල්ස් බැංකුව විසින් නියෝජිතායන බැංකු සේවාව හරහා දිවයින පුරා පිහිටි කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් 475කට අධික සංඛ්‍යාවක ගෙවීම් කිරීමේ කවුන්ටරය මඟින් පාරිභෝගිකයින් හට නොමිලේ සිය කාගිල්ස් බැංකු ගිණුම් වෙත පිවිසීමේ අවස්ථාව උදා කර දී ඇත.  මෙම පුළුල් ප්‍රවේශය හා දෙමුහුන් ජාල ආකෘතිය තුළින් ශ්‍රී ලංකාව පුරා විහිදුණු ව්‍යාපාරයන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් පහසුවෙන් සපයා ගැනීමේ හැකියාවද කාගිල්ස් බැංකුව විසින් උදා කර දී තිබේ.

කාගිල්ස් බැංකුවේ ප්‍රධාන කාර්යාලය කොළඹ, කොල්ලුපිටියෙහි පිහිටා ඇති අතර මේට්ලන්ඩ් ක්‍රෙසන්ට්, මහරගම, පරණ මුවර් වීදිය, වත්තල, මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය, හලාවත, කොටුව, රාජගිරිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, කදුරුවෙල, වවුනියාව, චුන්නාකම්, යාපනය, නාවලපිටිය, මීගමුව, අනුරාධපුරය හා බණ්ඩාරවෙල යන නගරයන්හි ශාඛා ස්ථාපිත කර ඇත. එසේම තෝරාගත් කාගීල්ස් ෆුඩ් සිටි අලෙවිසැල්  30කදී Cargills Bank MINI සේවා මධ්‍යස්ථාන හරහා ගිණුම් විවෘත කිරීම හා පාරිභෝගික සහාය වැනි බැංකු සේවාවන් ලබා දීම වෙනුවෙන් බැංකු ශාඛා ජාලය ශක්තිමත් කිරීමටද කාගිල්ස් බැංකුව කටයුතු කර ඇත.

 

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form